2029 වසර වන විට මෙරටින් පාරා-ටැරිෆ් (PAL සහ CESS) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් බලපෑමට ලක්වන දේශීය කර්මාන්තවලට සහය ලබා දීම සඳහා විශේෂ වැඩසටහනක් සකස් කරමින් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඩබ්ලිව්. සී. ජයමිණි මහත්මිය සඳහන් කළේ මෙම ක්‍රියාවලිය සඳහා කර්මාන්ත අංශවලින් දැඩි විරෝධයක් එල්ල වූ බවත්, 2025 අගෝස්තු මාසයේ සිට ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත්ය. අපනයන අංශය දියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගත වෙමින් දේශීය කර්මාන්තවලට සහය දැක්වීම අමාත්‍යාංශයේ අරමුණ බව ඇය පැවසුවාය.
කර්මාන්ත අංශය සඳහා යෝජිත විසඳුම් අතර ආනයනික භාණ්ඩ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවතින ප්‍රමිතීන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදවලට ඇතුළත් කිරීම ප්‍රධාන වේ. තෝරාගත් කර්මාන්ත අංශ 10ක් සමඟ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර සම්බන්ධීකරණය හරහා ‘බැක්වර්ඩ් ඕඩිටින්’ සිදු කරමින් නීතිවිරෝධී භාණ්ඩ ගොඩගැසීම වැළැක්වීමටත්, දැනට අංශ දෙකක් පමණක් අනුගමනය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ ‘Anti-Dumping’ නියාමන පනත ප්‍රායෝගිකව වැඩිපුර භාවිතා කිරීමට දේශීය කර්මාන්ත දිරිමත් කිරීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
වෙළඳ හා ආයෝජන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂානි අබේරත්න මහත්මිය සඳහන් කළේ දේශීය කර්මාන්ත සඳහා තවමත් 20%ක පමණ ආරක්ෂාවක් පවතින බවයි. කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා සාකච්ඡා සහ ඉල්ලීම් මත මෙම ආරක්ෂාවන් පියවරෙන් පියවර ඉවත් කරන බව ඇය පැවසුවාය.
මේ පිළිබඳව අදහස් දැක්වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ මහජන මූල්‍ය කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, ඉදිරි වසර දෙක තුන තුළ සියලු ආරක්ෂණ ක්‍රම ඉවත් වීමෙන් පසු දේශීය කර්මාන්තවලට ජාත්‍යන්තර මට්ටමෙන් තරඟ කිරීමට සිදුවන බවයි. ඒ සඳහා තීරුබදු සහ බදු ක්‍රමවේද ඇතුළු විකල්ප ආරක්ෂණ ක්‍රම භාවිතා කිරීමේ හැකියාව පවතින බව ද මෙහිදී සාකච්ඡා විය. කෙසේ වෙතත්, නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ එන භාණ්ඩ සඳහා මෙවැනි තීරුබදු වැඩි කිරීම් කළ නොහැකි බව ද පෙන්වා දෙන ලදී.
















