රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ ස්වේච්ඡාවෙන් බදු ගෙවීමේ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් බදු ශක්ති 2026 මැයෙන් ජාතික බදු සතියක් පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන ජූලි 6 වැනිදා සිට 10 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වේ.
මෙය හුදෙක් බදු එකතු කිරීමේ ව්‍යාපෘතියක් පමණක් නොව, රටට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් බිහි කිරීම අරමුණු කරගත් ජාතික වැඩපිළිවෙළක් බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර විදේශ ණය මත පදනම් වූ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ නමුත්, වර්තමානයේ දේශීය අරමුදල් භාවිතා කරමින් අධිවේගී මාර්ග සහ විදුලි බලාගාර වැනි දැවැන්ත ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා බදු ආදායම මූලික වන බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.
බදු ගෙවීමේ ක්‍රියාවලිය වර්තමානයේ සරල සහ විධිමත් කර ඇති බවත්, එකතු කරගන්නා බදු මුදල් සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සමාජ සුභසාධනය වෙනුවෙන් කළමනාකරණය කිරීම රජයේ වගකීමක් බවත් අවධාරණය කෙරිණි.
ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන්, පත්‍රිකා බෙදා හැරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීමේ ප්‍රවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ, සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද එක්වූහ.
















