අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපෙන තත්ත්වයෙන් මුදවාගෙන, ඔවුන් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති පූර්ව අයවැය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන කරුණු ලෙස මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ශ්‍රම ශක්තිය සහිත පවුල් අර්ධ කාලීන ශ්‍රම දායකත්වයන් සඳහා යොමු කිරීම වැදගත් බවත්, ඒ සඳහා වැවිලි ක්ෂේත්‍රය වැනි අංශයන්හි පවතින විභවතාව හඳුනාගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කිසිදු ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැකබලා ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සහ එම පවුල් සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ අරමුණයි. රැකියාවේ නියුතු මව්වරුන්ට සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මේ වසර තුළ දිවා සුරකුම් මධ්‍යස්ථාන 10ක් අවසන් කිරීමටත්, ඉදිරි වසර කිහිපය තුළ දිවයින පුරා එවැනි මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමටත් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ආබාධිත පුද්ගලයන් සඳහා පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සැලසීමට රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
















