ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි ස්ථානයේ තිබී සොයාගත් නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (08) රජයේ රස පරීක්ෂකවරයාට සිහිකැඳවීමක් නිකුත් කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ ඖෂධ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණද වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. එමෙන්ම, මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වන ලදී.
පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ද සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට නියෝග කළේය. සිද්ධියේ ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුව ලබන ජූලි 22 වන දින යළි කැඳවීමට නියමිතය.
















