වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් රජය විසින් අරඹා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන පියවර ලෙස අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල්වල ජංගම දුරකතනවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එය සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ‘Brain Health’ සංකල්පය පදනම් කරගත් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කර තිබේ. සමාජ මාධ්‍ය භාවිතය සහ ‘Digital Health’ පිළිබඳව අධ්‍යාපන පද්ධතිය තුළින් දරුවන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත. සමාජ මාධ්‍ය තහනම් කිරීමට වඩා රටට සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමට රජය ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර, ඒ සඳහා වන යෝජනා මේ වසර තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.















