BYD සහ DENZA වාහනවල බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් සී.ජී. ඕටෝ (JKCG Auto) ආයතනය, BYD උප සභාපති ලියු ක්සුලියාන් මහතාව ශ්‍රී ලංකාවට පිළිගත්තේය. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ එම සන්නාමයන් අත්කරගෙන ඇති වර්ධනය සමාලෝචනය කිරීම මෙම නිල සංචාරයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ නව බලශක්ති ප්‍රවාහන (New Energy Mobility) මාරුව සම්බන්ධයෙන් BYD ආයතනය තුළ ඇති දිගුකාලීන විශ්වාසය මෙම සංචාරයෙන් මනාව පිළිබිඹු වේ.
දකුණු ආසියානු කලාපීය දැක්ම තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි බවත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් BYD සහ DENZA සන්නාමයන් කෙරෙහි දක්වන විශ්වාසය අගය කරන බවත් උප සභාපති ලියු මහතා ප්‍රකාශ කළේය. 2025 වසරේදී වාහන ඒකක මිලියන 4.6ක් අලෙවි කරමින් ගෝලීය වශයෙන් නව බලශක්ති වාහන (NEVs) අංශයේ පෙරමුණ ගැනීමට BYD සමත් විය. 2026 වසරේදී එම අගය ඉක්මවා යාමට සමාගම අපේක්ෂා කරයි. ජර්මනියේ CAM ආයතනය මගින් නිකුත් කළ 2026 මෝටර් රථ නවෝත්පාදන වාර්තාවට අනුව ලොව වඩාත්ම නව්‍ය මෝටර් රථ සමූහය ලෙස BYD නම් කෙරිණි. ශ්‍රී ලංකාවේ වාහන ආනයනය නැවත ආරම්භ වී මාස නවයක් ඇතුළත, සමස්ත අලුත් වාහන ලියාපදිංචි කිරීම්වලින් 37%ක් සහ විදුලි වාහන ලියාපදිංචි කිරීම්වලින් 70%කට වඩා ප්‍රමාණයක් BYD සතු වීම විශේෂත්වයකි. මෙම සංචාරයේදී අලෙවිය, අලෙවියෙන් පසු සේවා, ආරෝපණ යටිතල පහසුකම් සහ තාක්ෂණික දියුණුව පිළිබඳව JKCG Auto කණ්ඩායම සමඟ සාකච්ඡා කෙරිණි.
ජෝන් කීල්ස් සී.ජී. ඕටෝ හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, BYD හි ගෝලීය තාක්ෂණික නායකත්වය සහ JKCG Auto හි දේශීය වෙළෙඳපොළ පැවැත්ම ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන අනාගතයක් සඳහා සහාය වීමට කැපවී සිටින බවයි.
















