බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් එය පූර්ණ ක්‍රීඩා නගරයක් ලෙස සහ නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡා සහ නිරීක්ෂණ චාරිකාව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) බදුල්ලේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ බදුල්ල ක්‍රීඩාංගනය අදියර වශයෙන් නවීන පහසුකම් සහිත ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. ලබන වසරේ සිට පාපන්දු සහ රග්බි ක්‍රීඩාංගන කඩිනමින් දියුණු කිරීමටත්, දැනට පවතින කසළ අංගනය ඉවත් කර එම භූමිය ගෘහස්ථ ක්‍රීඩා (Indoor Sports) සඳහා යොදා ගැනීමටත් අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇත. මීට අමතරව බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මැද තණතීරුවක් (Center Pitch) සැකසීම ද සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා ඇතුළු පිරිස විසින් වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය, පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාංගන, පැසිපන්දු ක්‍රීඩාංගනය සහ පිහිනුම් තටාකය යන ස්ථාන නිරීක්ෂණය කරන ලදී. නගරයේ පවතින විශාල අඩුපාඩු ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත්, නගරාධිපතිතුමා සහ නිලධාරීන් සමඟ එක්ව එම ගැටලු විසඳමින් බදුල්ලට නවීන ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වසරේදීම ගන්නා බවත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















