නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනමින් යුක්තිය ඉටු කර ගැනීමේ අරමුණින් තුෂ් වික්‍රමනායක මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් දියත් කර ඇති අත්සන් 40,000ක් ලබා ගැනීමේ පෙත්සම පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලදී.
මෙම අවස්ථාවේදී විපක්ෂ නායකවරයාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල, රෝහිනී කවිරත්න යන මහත්මීන් ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් මෙම පෙත්සම සඳහා සිය සහයෝගය පළ කරමින් අත්සන් තැබූහ. මීට පෙරද මෙම කණ්ඩායම විසින් විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
















