ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ඊයේ (08) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
සිය ධුර කාලය අවසන් කර පිටත්ව යාමට නියමිත තානාපතිතුමිය වෙත අමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළේ ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඇය ලබාදුන් දායකත්වය අගය කරමිනි. අක්‍රීයව පැවති ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය නැවත ආරම්භ කිරීම සඳහා තානාපතිතුමිය ලබාදුන් සහයෝගය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වලට ස්විට්සර්ලන්ත රජයෙන් ලැබෙන සහයෝගය මෙන්ම, ස්වාභාවික විපත් සහ ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමාත්‍යවරයා සිහිපත් කළේය.
ජාතික ජන බලවේග රජයට සහ අමාත්‍යවරයාට ස්තුතිය පළ කළ තානාපතිතුමිය, ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අනාගතයේදීත් සිය සහයෝගය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළාය.
















