මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ප්‍රතිපාදනයක් ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල 2026 අයවැය ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා “ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන” ගොඩනැගීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර එම අංශය ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු උපායමාර්ගික යෝජනා කඩිනමින් ඉදිරිපත් කිරීමට ද ඔහු උපදෙස් ලබා දුන්නේය.
රෝහල් පද්ධතිය නව තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම තුළින් ජනතාවට කාර්යක්ෂම හා ප්‍රමිතිගත සේවාවක් ලබා දීම සහ පෞද්ගලික අංශයේ සේවා සඳහා ජනතාවට දැරීමට සිදුවන අධික වියදම් බර අවම කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තවද, සුවසැරිය සේවාව ශක්තිමත් කිරීම සහ රෝහල් සඳහා ගිලන් රථ ලබා ගැනීමේදී සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත, ඉහළ තාක්ෂණික උපකරණවලින් සමන්විත ගිලන් රථ පමණක් භාවිතයට ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පසුගිය රජයන් විසින් ප්‍රාග්ධන වියදම් නතර කිරීම හේතුවෙන් අතරමග ඇනහිට තිබූ පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් වත්මන් රජය යටතේ යළි ආරම්භ කර ඇති අතර, මේ වන විට සමස්ත ව්‍යාපෘති 48ක කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.
















