නිව්යෝර්ක්හිදී පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ විවේක කාලය (half-time show) අතරතුර පැවැත්වෙන විශේෂ ප්‍රසංගය සඳහා කැනේඩියානු පොප් තරුව ජස්ටින් බීබර් එක්වීමට නියමිත බව වාර්තා වේ.
ජූලි 19 වන දින පැවැත්වෙන මෙම ප්‍රසංගය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන සුපර් බෝල් (Super Bowl) ශෛලියේ ප්‍රසංගයකි. මෙහිදී ජස්ටින් බීබර් සමඟ මැඩෝනා, ශකීරා සහ බී.ටී.එස් (BTS) යන කලාකරුවන් ද වේදිකාව බෙදා ගනු ඇත. මීට අමතරව බර්නා බෝයි, ගුස්ටාවෝ ඩුඩමෙල් සහ සීසමි ස්ට්‍රීට් (Sesame Street) රූකඩ චරිත ද මෙම විනාඩි 11ක ප්‍රසංගය සඳහා එක්වීමට නියමිතය. මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ ෆිෆා ග්ලෝබල් සිටිසන් එඩියුකේෂන් අරමුදල (FIFA Global Citizen Education Fund) සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින් වන අතර, එහි වැඩසටහන් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කොල්ඩ්ප්ලේ (Coldplay) සංගීත කණ්ඩායමේ ක්‍රිස් මාටින් විසිනි.
ජස්ටින් බීබර් පවසා ඇත්තේ පාපන්දු ලෝක කුසලානය මගින් ලෝකය එකමුතු කරන බවයි. සෞඛ්‍ය හේතූන් මත සිය ‘ජස්ටිස්’ ලෝක සංචාරය අවලංගු කිරීමෙන් පසු වසර හතරකට පමණ පසු බීබර් මෑතකදී කැලිෆෝනියාවේ කොචෙල්ලා (Coachella) උත්සවයේදී නැවත වේදිකාවට පැමිණියේය.
මෙම ලෝක කුසලාන තරගාවලිය මෙක්සිකෝව, කැනඩාව සහ ඇමෙරිකාවේ කණ්ඩායම් 48කගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මේ වන විට අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා කණ්ඩායම් අටක් ඉතිරිව ඇත. මේ අතර, ආජන්ටිනාවේ ලයනල් මෙසී ගෝල අටක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ලෙස පෙරමුණේ පසුවේ.
















