පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකුට වස දීමට තැත් කළ බව පවසමින් තමන්ව අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන්, තමන්ට හක්ක පනිනතුරු දරුණු ලෙස පහර දුන් බවට තරුණයෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණි.
දෙමටගොඩ පදිංචි නිලුක මධුරංග නමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
පෙත්සම්කරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි පොලිස් පරීක්ෂක ජයතිලක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. එහිදී කැපී පෙනෙන කරුණක් ලෙස, මීට පෙර චෝදනා එල්ල වී සිටියදී මියගිය බව වාර්තා වී තිබූ පොලිස් පරීක්ෂක ජයතිලක නමැත්තා මේ වන විට ප්‍රංශයේ ජීවත් වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.
තමන්ව අත්අඩංගුවට ගෙන සිදුකළ මෙම පහරදීම නිසා මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු, රුපියල් ලක්ෂ 50ක වන්දියක් අය කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
















