බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා වෙත බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු විසින් ‘නයිට්’ (Knighthood) පදවිය පිරිනමන ලදී. 2026 ජූලි 7 වන දින වින්ඩ්සර් මාලිගයේදී පැවති උත්සවයකදී මෙම ගෞරවනීය නාමය නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
මහාචාර්ය කනගරාජා මහතා හට මෙම ගෞරවය හිමිවූයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්ති (Inclusion) ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු සිදු කළ විශිෂ්ට සහ සුවිශේෂී සේවය අගය කිරීමක් වශයෙනි. 2026 වසරේ ‘රජුගේ අලුත් අවුරුදු ගෞරව නාම ලේඛනයට’ (2026 King’s New Year Honours) ඔහුගේ නම ඇතුළත් කර තිබුණි.
මෙම ගෞරවනීය සම්මානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයකින් පැමිණි දරුවෙකු ලෙස රාජකීය පිළිගැනීමකට ලක්වීම තමන්ට ඉතා විශාල ගෞරවයක් සහ සුවිශේෂී ගමනක් බව පැවසීය. අධ්‍යාපනය සතු පරිවර්තනීය බලය නිසා තමන්ට මෙම ස්ථානයට පැමිණීමට හැකි වූ බවත්, අනෙක් අයටද සිය උපරිම හැකියාවන් කරා ළඟා විය හැකි පරිදි බාධක ඉවත් කිරීමට තමන් කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
1966 වසරේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවෙකි. පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති ඔහු, ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සුළුතර ජනවාර්ගික පසුබිමකින් පැමිණි පළමු උපකුලපතිවරයා ද වේ.
















