ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින්, 2026 ෆයිනෑන්ස් ඒෂියා (FinanceAsia) සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 15 වැනි වරටත් ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස නම් කර ඇත. මීට අමතරව බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර හයක් සඳහාද සම්මාන හිමිකර ගැනීමට එම බැංකුව සමත්වූ අතර, මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එකවර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව වේ.
අඛණ්ඩව 15 වැනි වරට හිමිවූ ‘වසරේ හොඳම බැංකුව’ යන ගෞරවයට අමතරව කොමර්ෂල් බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම බැංකුව, තාක්ෂණය භාවිතයේ හොඳම බැංකුව, හොඳම ඉස්ලාමීය මූල්‍ය ආයතනය, හොඳම තිරසර බැංකුව, හොඳම පුද්ගලික අංශයේ බැංකුව සහ හොඳම පාරිභෝගික බැංකුව යන සම්මාන හිමිකරගෙන තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, ගෝලීය වශයෙන් ගෞරවයට ලක්වන මෙවැනි සම්මාන මගින් මූල්‍ය ශක්තිය, නව්‍යකරණය, පාරිභෝගික සේවාව සහ තිරසරභාවය යන ක්ෂේත්‍රවල බැංකුවේ කාර්යසාධනය ජාත්‍යන්තරව තහවුරු වන බවයි. එමෙන්ම, මෙම ජයග්‍රහණය කොටස්කරුවන්ගේ විශ්වාසය ඉහළ නංවන අතර පාරිභෝගිකයින්ට අඛණ්ඩව වටිනාකමක් ලබාදීමට බැංකුවට ඇති හැකියාව තහවුරු කරන බවද ඔහු සඳහන් කළේය.
හොංකොංහි පැවති මෙම සම්මාන උළෙලේදී, කොමර්ෂල් බැංකුව වෙනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී – සේවා චින්තක ධර්මසේන මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ (මෙහෙයුම්) ක්‍රිෂාන් ගමගේ මහතා විසින් මෙම සම්මාන පිළිගනු ලැබීය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව වන කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා මෙන්ම ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා ලෙසද පිළිගැනේ. දිවයින පුරා ශාඛා 270කට අධික ජාලයක් සහ පුළුල් ජාත්‍යන්තර පියසටහන් සහිතව ක්‍රියාත්මක වන කොමර්ෂල් බැංකුව, පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුවද වේ.
















