නුවරඑළියේදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ අපරාධයට සහාය දැක්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සැකකරුවන් පිරිස අද (09) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ නුවරඑළිය පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැකකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර රුධිර සාම්පල ලබාගන්නා ලෙස නියෝග කළාය.
පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ රෝහල වෙත රැගෙන ගොස් රුධිර සාම්පල ලබාගැනීමෙන් අනතුරුව, සැකකරුවන් සිව්දෙනා නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ බන්ධනාගාරගත කෙරිණි.
















