යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් තදබද කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, එහි පාලක මැදිරිය වෙත නවීන ‘ගුවන් තත්ත්ව දර්ශන පද්ධතියක්’ (Air Situation Display System) හඳුන්වා දී තිබේ. ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ ඉලෙක්ට්‍රොනික හා ගුවන් යානා සංචාලන ඉංජිනේරු අංශය විසින් මෙම තාක්ෂණික උත්ශ්‍රේණිගත කිරීම සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
මෙම නව පද්ධතිය මගින් යාපනය ගුවන්තොටුපොළේ ගුවන් තදබද පාලකවරුන්ගේ ගුවන් තත්ත්ව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවන අතර, විශේෂයෙන් ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොරතුරු කලාපයේ සිට පැමිණෙන යානා හඳුනා ගැනීමේ හැකියාව ශක්තිමත් කෙරේ. යාපනය ගුවන්තොටුපොළේ පාලක මැදිරියේ උස සීමිත වීම හේතුවෙන් අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ගුවන් යානා දෘශ්‍යමය වශයෙන් හඳුනා ගැනීමට පාලකවරුන්ට මුහුණ දීමට සිදුවූ අභියෝග මඟහරවා ගැනීමට මෙම උත්ශ්‍රේණිගත කිරීම බෙහෙවින් උපකාරී වේ.
මෙම පද්ධතිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සහ පිදුරුතලාගල රේඩාර් දත්ත මෙන්ම, බණ්ඩාරනායක ගුවන්තොටුපොළ හරහා ලැබෙන ADS-B දත්ත වැනි බහුවිධ නිරීක්ෂණ දත්ත ඒකාබද්ධ කරනු ලබයි. එමගින් යානා පිළිබඳ අඛණ්ඩ, විශ්වාසනීය සහ නිවැරදි පසු විපරම් තොරතුරු ලබාගැනීමේ හැකියාව ලැබේ.
මෙම වැඩිදියුණු කළ නිරීක්ෂණ හැකියාව මගින් ගුවන් තදබද පාලකවරුන්ට සහ ගුවන් නියමුවන්ට වඩාත් ඉක්මනින් සහ දැනුවත්ව තීරණ ගැනීමට ඉඩ සැලසෙන අතර, මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
















