රිදියගම සෆාරි උද්‍යානයේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහරදීමක් සහ මරණ තර්ජනයක් සිදුව ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.රිදියගම සෆාරි උද්‍යානයේ උද්‍යාන සහායකයෙකු ලෙස සේවය කරන සූරියවැව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එදිරිසිංහගේ චමින්ද මහතා විසින් අම්බලන්තොට පොලිසිය වෙත මෙම පැමිණිල්ල සිදුකර තිබේ.සෆාරි උද්‍යානයේම සේවය කරන සත්ව භාරකරුවෙකු පසුගිය 06 වැනිදා රාත්‍රියේ බීමත්ව රාජකාරියට පැමිණ විවේකාගාරයේ තිබූ විදුලි පංකා දෙකකට සහ දොරකට හානි සිදු කර තිබේ. මෙම සිද්ධිය තමන් විසින් උසස් නිලධාරීන්ට පැවසූ බවට සැක කරමින්, අදාළ සත්ව භාරකරු විසින් තමන්ට පහර දී මරණ තර්ජනය එල්ල කළ බව පැමිණිලිකරු පවසයි.මෙම පහරදීම සහ මරණ තර්ජනය එල්ල වන අවස්ථාව සෆාරි උද්‍යානයේ තවත් සේවකයින් කිහිප දෙනෙකු විසින් දැක ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
















