දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී හඳුනාගන්නා පාලම්, මාර්ග හෝ ගොඩනැඟිලි වැනි හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොවී, සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඉටු කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (09) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම සමුළුවේදී සාකච්ඡා වූ අනෙකුත් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා පැවසුවේ අධි අවදානම් සහිත ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොතැබීමටත්, එවැනි ප්‍රදේශවල මූලික පහසුකම් සඳහා අනුමැතිය ලබා නොදීමට ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බවත්ය. මධ්‍යම කඳුකරයේ සංවේදී භූමි කළමනාකරණය සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන පනත් කෙටුම්පත දැනටමත් සකස් කර ඇත.
එමෙන්ම, යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති අතර, ගංවතුර හා නායයෑම්වලට නිරන්තරයෙන් ලක්වන ජනතාව සුරක්ෂිත නිවාසවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විවිධ හේතු මත අතරමග අතහැර දමා ඇති නිවාස ඉදිකිරීම් පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු විය.
දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ විය.
















