2025 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, නිපුණතා පරීක්ෂණය සහ කුසලතා පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 2,498 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 2025 ඔක්තෝම්බර් මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා UBT ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුණු මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 28,204 දෙනෙකු පෙනී සිටි අතර, නිෂ්පාදන හා ධීවර අංශවලට අදාළව ඉන් අයදුම්කරුවන් 3,839 දෙනෙකු මූලික විභාගයෙන් සමත් වී තිබුණි.
මෙම සුදුසුකම් ලත් පිරිසට අමතරව, දකුණු කොරියාවේ වසර 4 මාස 10ක සේවා කාලයක් සම්පූර්ණ කර පැමිණි පිරිස සඳහා පැවැත්වූ විශේෂ විභාගයෙන් අයදුම්කරුවන් 261 දෙනෙකු අතරින් 110 දෙනෙකු ද නිෂ්පාදන හා ධීවර අංශවල රැකියා සඳහා නැවත සුදුසුකම් ලබා ඇත. දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලාංකිකයින්ට මෙම රැකියා අවස්ථා හිමිවන අතර, පසුගිය 2025 වර්ෂය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 3,812 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
















