අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින්, 2026 ජූලි 15 වැනි දින සිට අගෝස්තු 15 වැනි දින දක්වා කාලය “ප්‍රජා සවිබල ගැන්වීමේ මාසය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, දිවයින පුරා සිටින සමෘද්ධි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රතිලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් නඟාසිටුවීම මෙහි අරමුණයි.මෙම සවිබල ගැන්වීමේ මාසය තුළ පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම යටතේ 2026 වර්ෂය සඳහා තෝරාගත් සියලුම ප්‍රතිලාභී පවුල් වෙනුවෙන් පවුල් සංවර්ධන සැලසුම් සකස් කර අවසන් කිරීම සිදු කෙරේ. ස්වයං රැකියා හා වෘත්තීය සංවර්ධනය යටතේ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම, රුපියල් 150,000 දක්වා මූල්‍ය පහසුකම් යටතේ ස්වයං රැකියා උපකරණ ලබාදීම සහ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා වන ගාස්තු දීමනාව ද රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත.නීතිමය හා අධ්‍යාපනික සවිබල ගැන්වීම යටතේ ප්‍රාදේශීය මට්ටමින් “නීතිය සෙවණ” වැඩසටහන් හරහා නීතිමය ගැටලු විසඳීම, ශිෂ්‍යත්ව ප්‍රදානය සහ දූ දරුවන්ගේ දක්ෂතා ඇගයීම සිදු කරනු ඇත. නිවාස හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නිවාස ලොතරැයි අරමුදල මගින් ඉදිකළ නිවාස ප්‍රතිලාභීන්ට භාරදීම සහ නව “සමෘද්ධි සුව පියස” සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම ද නියමිතය. මසකට රුපියල් 40,000කට වැඩි ආදායමක් උපයන පවුල් හඳුනාගනිමින් වැඩසටහනේ සාර්ථකත්වය ඇගයීමට ද පියවර ගෙන ඇත.මෙම වැඩසටහනට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද පැවැත්වෙන අතර, එහි සමාරම්භක වැඩසටහන හෙට (10) පෙරවරු 9.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.
















