මෙවර 2026 යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම ලබන ජූලි 15 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ කරුණු අනුව රජය විසින් මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 16ක මුළු ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ. ඒ සම්බන්ධ විස්තර පහත පරිදි වේ:
රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක මුදලක් වෙන් කර ඇත.
මීට අමතරව, කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ‘ඔඩපන’ ණය යෝජනා ක්‍රමයක් යටතේ රජයේ බැංකු හරහා තවත් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.
මෙවර යල කන්නයේදී වී වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 475,000කට අධික වන අතර, අයහපත් කාලගුණික බලපෑමක් නොමැති වීම නිසා සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කෙරේ. දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග නිකුත් කිරීම සහ නව අස්වැන්න භාරගැනීම සඳහා සතොස සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙන පරිදි, පසුගිය වසරවල මෙන් නොව වී මිල පහළ නොදමන ලෙස ඉල්ලීමට රජය මේ වන විට ශක්තිමත් තත්ත්වයක පවතී. එසේම ගොවීන් තම අස්වැන්න වී අලෙවි මණ්ඩලයට විකිණීම සඳහා උනන්දුවක් දක්වන බව ද සඳහන් වේ. අවශ්‍ය වුවහොත් අතිරේක ගබඩා පහසුකම් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ සමුපකාර සමිතිවල සහාය ලබා ගැනීමට ද සාකච්ඡා වී ඇත.
















