පොදු ප්‍රවාහන සේවාවේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයින පුරා පුළුල් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහන හරහා මහමඟ සිදුවන රිය අනතුරු අවම කිරීම සහ මගීන්ගේ ආරක්ෂාව උපරිම කිරීම අරමුණු කෙරේ. මෙතෙක් බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ මෙම පරීක්ෂණ, ඉදිරියේදී සෙසු පළාත්වලත් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, මෙම ක්ෂණික වැටලීම් රට පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම වැටලීම්වලදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙත දැඩි නීතිමය පියවර ගැනීමට මෙන්ම, ඔවුන්ගේ සේවා අයිතිය අත්හිටුවීමටද කටයුතු කරන බව බලධාරීන් අනතුරු අඟවයි.
















