සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර, සහල් ආශ්‍රිත විවිධ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ද යොදා ගනිමින් වී සඳහා වෙළෙඳපොළේ තරඟකාරීත්වයක් සහ සාධාරණ මිලක් ගොවියාට ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
පසුගිය කාලයේ වී නිෂ්පාදනය සීමිතව පැවති බැවින් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කර තිබූ ගැසට් නිවේදනය වත්මන් රජය විසින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
බත්වලට අමතරව සත්ව ආහාර, බියර්, වයින්, බිස්කට් සහ කේක් වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීමට ඉඩ සලසා දීම මෙහි අරමුණයි.
පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන විසින් සහල් ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර පාන වර්ග රැසක් පර්යේෂණ මට්ටමින් හඳුනාගෙන ඇති අතර, ඒවා කඩිනමින් වාණිජමය වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කෙරේ.
මෙමගින් සාම්ප්‍රදායික මෝල් හිමියන්ට අමතරව, වයින්, බිස්කට් සහ සත්ව ආහාර නිෂ්පාදකයින් ද වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට තරඟකාරී ලෙස එක්වන බැවින් ගොවියාට තමන්ගේ අස්වැන්න සඳහා වඩාත් ඉහළ සහ සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වනු ඇත.
සහල් සඳහා නව වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් වගා ඵලදායිතාව සහ වී වගාව තවදුරටත් පුළුල් කරන ලෙස ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
















