මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ ඉන් අනතුරුව රැඳවියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත සිදු කළ පූර්ව දැනුම් දීමකින් තොර නිරීක්ෂණ චාරිකාවකදී කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළ කරයි. මෙය මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන කොමිසම, මාරු කරන ලද තුවාල ලැබූ රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ප්‍රමාදයක් පවතින බව ද අනාවරණය කර ඇත. මෙම බාධා කිරීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා (වැඩබලන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.















