මෑතකදී පැවති නේටෝ (NATO) සමුළුව සහ එම සමුළුවෙන් පසු අමෙරිකාව සහ එහි සහචරයින් විසින් සිදුකළ මිලිටරි බ්ලොක්කරණය සහ අවි තරගය වේගවත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය හරහා විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නේටෝ සංවිධානය සාමය සහ ආරක්ෂාව වෙනුවට යුද ගැටුම් සහ භූදේශපාලනික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන බවයි.
උතුරු කොරියාවේ ස්ථාවරය වන්නේ න්‍යෂ්ටික අවි අත්හැරීම පිළිබඳ සාකච්ඡා තම රටට පමණක් සීමා නොවිය යුතු බවයි. ඔවුන් පවසන්නේ න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය ඇරඹිය යුත්තේ අමෙරිකාවේ සහචර රටවල් වන දකුණු කොරියාව සහ ජපානය වැනි රටවලින් බවයි.
අමෙරිකාවේ ආරක්ෂක සහය යටතේ දකුණු කොරියාව සහ ජපානය තම න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කිරීමට දරන උත්සාහයන් සහ නේටෝවේ න්‍යෂ්ටික බෙදාගැනීමේ ප්‍රතිපත්ති කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව උතුරු කොරියාව චෝදනා කරයි. තමන්ගේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා වන අයිතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත්, උතුරු කොරියාවේ මෙම ක්‍රියාකාරකම් තර්ජනයක් ලෙස හුවා දැක්වීමට නේටෝ නායකයින් උත්සාහ කරන බවත් එරට විදේශ අමාත්‍යාංශය පවසයි.
මෙම වර්ධනයන් සිදුවන්නේ නේටෝ සමුළුව පැවති සමයේම දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් නේටෝ සාමාජික රටවල් සමඟ ආරක්ෂක සහ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීමට අදහස් පළ කර තිබූ පසුබිමකය.
















