බහමාස් දූපත් රාජ්‍යයේ පැවති 53 වැනි නිදහස් දින සැමරුම් උත්සවය අතරතුර සිදුවූ දරුණු ගුවන් යානා අනතුරකින් ගුවන් යානයේ ගමන් ගත් නියමුවා සහ මගීන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුවූයේ ෆ්ලෙමින්ගෝ එයාර් සමාගමට අයත් සෙස්නා 402 වර්ගයේ කුඩා ගුවන් යානයක් ජූලි 10 වැනි දින පස්වරුවේ නසාඋ අගනුවර පිහිටි ලින්ඩන් පින්ඩ්ලිං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව, සැන් ඇන්ඩ්‍රෝස් ගුවන්තොටුපළ වෙත ගමන් කරමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්ව ගුවන්තොටුපළ අසල වූ ලඳු කැලෑවකට කඩා වැටීම හේතුවෙනි. අනතුර සිදුවූ වහාම එක් අයෙකු බරපතල තුවාල සහිතව සොයාගෙන රෝහල් ගත කළද, පසුව ඔහු ද මියගිය බව බලධාරීන් තහවුරු කළේය.
ආරක්ෂක පියවරක් ලෙස බලධාරීන් විසින් ෆ්ලෙමින්ගෝ එයාර් සමාගමේ ගුවන් මෙහෙයුම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. බහමාස් රාජ්‍යයේ නිදහස් දින සැමරුම් උත්සවය මධ්‍යයේ සිදුවූ මෙම ශෝචනීය සිදුවීම හේතුවෙන් එරට දැඩි ශෝකයක් පවතින බව අග්‍රාමාත්‍ය පිලිප් ඩේවිස් මහතා නිවේදනය කර තිබේ. අනතුරට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
















