ඉදිරියේදී ඇති විය හැකි එල් නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන් වාරි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවිජනතාව ඇතුළු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. පී. එස්. ඩී. හේරත් මහතා පැවසුවේ, දැනට ජලාශ 80ක පමණ සියයට 48ක ජල ධාරිතාවක් පවතින බවත් එය සාමාන්‍ය තත්ත්වයකදී ප්‍රමාණවත් වුවද, එල් නිනෝ තත්ත්වය හමුවේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ජලය කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය බවත්ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව, මේ වන විට දුර්වල මට්ටමක පවතින එල් නිනෝ තත්ත්වය ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ප්‍රබල විය හැකි බවට අනතුරු අඟවා ඇත. මෙම දේශගුණික බලපෑම හේතුවෙන් ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන් සහ ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානම සැලකිල්ලට ගෙන, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය භාවිතයේදී ඉහළම විනයක් පවත්වා ගන්නා ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.
















