අසූචි සිදුවීම ප්‍රසිද්ධියට පත්වීම තුළින් තමන්ට සිදුවන නින්දාව හේතුවෙන්, එම ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අනධ්‍යයන ලොක්කා පසුබා තිබුණි. එය ප්‍රහාරකයන්ට නීතියෙන් ගැලවී යාමට අතිරේක වාසියක් විය. මේ අතර, උපකුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන්ට නින්දා කරමින් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පාලක සභාවේ තීරණය මත සිදුකෙරුණු මූලික විමර්ශනය තුළින් තහවුරු වී තිබුණේ, අනධ්‍යයන ලොක්කා මෙම නොහික්මුණු සහ විනය විරෝධී වරද සිදුකර ඇති බවය.
ඒ අනුව, ඒ වන විටත් අදාළ තනතුරේ පරිවාස කාලය ගත කරමින් සිටි අනධ්‍යයන ලොක්කාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට පාලක සභාව තීරණය කළේය. එකී තීරණයත් සමග මාස තුනක් තුළ ඔහු පදිංචිව සිටි නිල නිවසින් ඉවත්ව යා යුතු වන බවට වන නියෝගයද ඔහු වෙත වහාම දන්වනු ලැබීය.
“දියේ ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා” යනුවෙන් ජනවහරේ තිබේ. ඒ අනුව, මෙතෙක් නීතිය යනු තමන් යැයි සිතමින් කටයුතු කළ පුද්ගලයාට, දෛවෝපගත ලෙස නීතියේම පිළිසරණ පැතීමට සිදුවිය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයෙන් තමන්ව නෙරපා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලය (USAB) වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.
අදාළ අභියාචනය විභාග වන කාලසීමාවේදී ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමන් වාසය කළ නිල නිවසින් ඉවත්ව යන අතර, ඉන් පසුව අප්‍රිකානු රටක රැකියාවක් සඳහා විදේශගත විය. දෛවයේ සරදමක් ලෙස, ඔහු පදිංචිව සිටි සී 15 නිල නිවසේ ඉන් අනතුරුව පදිංචිව සිටින්නේ ඔහු සේවයෙන් නෙරපා හැරීමට තැත් කළ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී වේරහැරය. ස්වභාවධර්මයේ නීති ක්‍රියාත්මක වන්නේ අපූරු රිද්මයකින් බවට එය හොඳ උදාහරණයකි.
සැලකිය යුතු කාලයකින් පසුව විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයේ තීරණය ප්‍රකාශයට පත්විය. එමගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයෙන් පරිවාස පදනම මත සිදුකළ නෙරපා හැරීම නීතියට පටහැනි නොවන බව තීන්දු කර තිබුණේ අනධ්‍යයන ලොක්කාගේ බලාපොරොත්තු තවදුරටත් කඩ කරමිනි. ඉන් අනතුරුව නීත්‍යානුකූලව හිමිවන අභියාචන අවස්ථා දෙකක්ම භාවිතා කරමින් ඉහළ අධිකරණවලට අභියාචනා කර, සේවයෙන් නෙරපා හැරීම නීතියට පටහැනි බවට තීරණයක් ලබාගැනීමට අනධ්‍යයන ලොක්කා විසින් ගත් උත්සාහයන් සියල්ල ඔහුට අවාසිදායක ලෙස අවසන් විය. නැවත කිසි දිනෙක ඔහුට පේරාදෙණියට පය තැබීමට හැකි වූයේ නැත.
















