එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් සිය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා මත්පැන් පරිභෝජනය සීමා කරමින් නව හැසිරීම් මාර්‌ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ. මෙම නව නීතිරීතිවලට අනුව තරගයකට පෙර දින, තරගය පැවැත්වෙන අතරතුර හෝ තරගයෙන් පසු දින තුළ ක්‍රීඩකයින් මත්පැන් පරිභෝජනය කිරීම තහනම් කර ඇත. එසේම කණ්ඩායම නවාතැන් ගන්නා හෝටල් ඇතුළු කිසිදු පොදු ස්ථානයකදී මත්පැන් පානය කිරීම ක්‍රීඩකයින්ට තහනම් බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වුවද, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සහ ක්‍රිකට් අධ්‍යක්ෂ රොබ් කේ යන මහත්වරුන්ගේ විශේෂ අනුමැතියක් මත මෙම නිර්‌දේශයන්හි ඇතැම් අවස්ථාවන් සඳහා ලිහිල් කිරීම් සිදු කිරීමට හැකියාව පවතී. ක්‍රීඩකයින්ගේ විනය සහ කණ්ඩායමේ ගෞරවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ක්‍රිකට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
අතීතයේදී මත්පැන් පරිභෝජනය හේතුවෙන් කණ්ඩායම විවිධ ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමත් සමඟ මණ්ඩලය මෙම දැඩි ක්‍රියාමාර්‌ගයට එළඹ ඇත. ක්‍රීඩකයින්ගේ වෘත්තීය මට්ටම සහ කීර්‌තිය ආරක්ෂා කර ගැනීමට මෙම නව මාර්‌ගෝපදේශ ඉවහල් වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.
















