බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් පූර්ණ හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන ලද ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එය ජූලි 10 වැනිදා සිට බලපැවැත්වේ.
මෙම නව රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කරුණු:
භාණ්ඩ ආනයනය කිරීමේදී ඒවා බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කර නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම ආනයනකරුවන්ට අනිවාර්ය වේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තීරණ සැලකිල්ලට ගනිමින්, මෙම තහනමට යටත් විය යුතු නිශ්චිත භාණ්ඩ හෝ රටවල් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඉදිරියේදී කාලානුරූපීව නිවේදනය කරනු ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවට ජාත්‍යන්තර මට්ටමෙන් එල්ල වූ චෝදනා හමුවේය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට එරෙහිව අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය ගත් තීරණය මීට ප්‍රධාන හේතුවක් වී තිබේ.
මෙම නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා 12.5%ක අතිරේක බද්දක් පැනවීමට අමෙරිකාව සූදානම්ව සිටියේය. රජය විසින් හඳුන්වා දුන් මෙම නව රෙගුලාසිය හරහා එම අහිතකර බලපෑම් වළක්වා ගැනීමටත්, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රමිතීන්ට අනුකූල වීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
















