නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා සහ හිටපු එමීර්වරයා වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
සිය ‘X’ ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අභාවප්‍රාප්ත එමීර්වරයා කටාර් රාජ්‍යය වෙනුවෙන් දැක්වූ දූරදර්ශී නායකත්වය සහ ඉටුකළ අමිල සේවය ගෞරවයෙන් සිහිපත් කරන බවයි. ශ්‍රී ලංකා රජය සහ සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන්, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් සහ කටාර් වැසියන් වෙත ජනාධිපතිවරයා සිය ශෝකය පිරිනමා ඇත.
කටාර් රාජ්‍යයේ පරිවර්ථනීය වෙනසක් සිදු කළ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා ඊයේ (12) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවය නිමිත්තෙන් කටාර් රාජ්‍යයේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන ‘අමිරි දිවාන්’ විසින් එරට සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
















