ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ලබන ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
මඩකලපුව මහෙස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ මෙම නඩුව විභාගයට ගැනුණි. 2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු වූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව සැකකරු මෙලෙස රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සම්බන්ධ වන ප්‍රධාන සිද්ධීන් කිහිපයක් අධිකරණයේදී අනාවරණය විය:
2008 ජනවාරි 09 දින මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
2008 මැයි 22 දින කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
2008 අගෝස්තු 20 දින වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ T-56 ගිනිඅවි යොදාගෙන සිදු කරන ලද මෙම ඝාතනවලට සැකකරු සෘජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජූලි 24 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළාය.
මේ අතර, මෙම සිද්ධියටම අදාළ කල්ලඩි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වන දින දක්වා කල් තැබීමටද අධිකරණය පියවර ගත්තේය.














