සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ සැලසෙන පරිදි ගුණාත්මක සහ පහසුකම්වලින් සපිරි පොදු ප්‍රවාහන පද්ධතියක් රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම නව සැලැස්ම හරහා ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති අධික වියදම අවම කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුවට ලබාදෙන අවධානය පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය වෙනුවෙන් ද යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පැරණි බස් රථ ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කර, ඒ වෙනුවට නව බස් රථ ධාවනයට එක් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කෙරිණි. විශේෂයෙන්ම නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය.
















