ඉරානය සමඟ පවතින සන්නද්ධ ගැටුම් මධ්‍යයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නැව් ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන්, එම සමුද්‍ර සන්ධිය මඟහැර යා හැකි පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) නැගෙනහිර වෙරළ තීරයේ නව වරායක් සහ බහාලුම් පර්යන්තයක් ඉදිකිරීමට ඩුබායි හි ‘DP World’ සමාගම සැලසුම් කරමින් සිටියි.
මෙමඟින් ඩුබායි හි ප්‍රධානතම වරාය කේන්ද්‍රස්ථානය වන ‘ජෙබෙල් අලි’ (Jebel Ali) වරාය මත පවතින රඳා පැවැත්ම අවම කිරීමට අපේක්ෂිතය.
ෆුජයිරා (Fujairah) වෙරළබඩ කලාපයේ මෙම නව බහුකාර්ය වරාය ඉදිකිරීමට නියමිත අතර, එමඟින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් නොකර ඕමාන් බොක්ක (Gulf of Oman) ඔස්සේ බහාලුම් මෙරටට ඇතුළු කිරීමටත්, පසුව ඒවා ගොඩබිම් මාර්ග හරහා ට්‍රක් රථ මඟින් ඩුබායි, අබුඩාබි සහ සෙසු ගල්ෆ් රටවලට ප්‍රවාහනය කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත. ඉරාන ප්‍රහාර හේතුවෙන් ජෙබෙල් අලි වරායේ කටයුතු සියයට 90-95 කින් පමණ පහත වැටී ඇති පසුබිමක, ආර්ථිකය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් වසර එකහමාරක් ඇතුළත මෙහි වැඩකටයුතු නිම කිරීමට සැලසුම් කර තිබේ.














