2030 වන විට මෙරටින් ජලභීතිකා රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ ජාතික සැලැස්මක් සෞඛ්‍ය අංශ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව දියත් කර ඇති අතර, ඒ සඳහා මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සංජිකා පෙරේරා මහත්මිය පවසයි.
කටුනායක පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහත්මිය අවධාරණය කළේ, වීදි බල්ලන්ට වගකීමක් නොමැතිව ආහාර ලබා දීමෙන් ඔවුන්ගේ ගහනය පාලනයකින් තොරව ඉහළ යන බවත්, එය ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් බවත්ය. “සුනඛයන්ට ආදරය කරන පුද්ගලයින් වීදි බල්ලන්ට ආහාර ලබා දීමෙන් වැළකී සිටිය යුතු අතර, එසේ ආහාර ලබා දෙන්නේ නම් ඔවුන්ගේ සෞඛ්යාරක්ෂිතභාවය සහ එන්නත්කරණය පිළිබඳ වගකීමද ඔවුන් විසින්ම භාරගත යුතුයි,” යැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගය පාලනය කිරීම 1973 දී ඇරඹුණු අතර, එකල වාර්ෂිකව මරණ 360ක් පමණ වාර්තා විය. වර්තමානය වන විට එය වාර්ෂිකව මරණ 14ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇත්තේ රෝහල් මට්ටමින් ලබා දෙන ප්‍රතිජීවක එන්නත් නිසාය. කෙසේ වෙතත්, රෝගීන් සඳහා රජය දරන දැවැන්ත වියදම සහ සතුන් තුළින්ම රෝගය තුරන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
සතුන් එන්නත් කර ජලභීතිකා රෝගය සුනඛ ගහනයෙන් තුරන් කිරීම පමණක් මෙම රෝගය ස්ථිරවම මෙරටින් අතුගා දැමීමට ඇති එකම මාර්ගය බවත්, එයින් රජයට පවතින දැවැන්ත ආර්ථික බරද ලිහිල් වන බවත් ඇය පෙන්වා දුන්නාය.
















