සල්ලි, දේපළ සහ යාන වාහන පසුපස හඹා යන අද වැනි තරගකාරී සමාජයක, තමන්ගේම පෞද්ගලික ශෝකය මහත් වූ මානුෂීය මෙහෙවරක් බවට පත් කරගත් සුවිශේෂී මිනිසෙක් පිළිබඳ පුවතක් වාර්තා වේ. ඔහු විශ්‍රාමික ඉංජිනේරු සරත් මුදුන්කොටුව මහතායි. තමන්ගේ ජීවිතයේ ආදරණීයම බිරිඳ සහ එකම පුතු අහිමි වීමෙන් ඇති වූ දරාගත නොහැකි තනිකම සහ පාළුව, අන් අයගේ ජීවිත ආලෝකවත් කිරීමේ පින්කමක් බවට පරිවර්තනය කර ගැනීමට ඔහු සමත් විය.
තමන් සතු වටිනාම ඉඩම විකුණා ලැබුණු මුදලින් අසරණ පවුල් 11කට ස්ථිර නිවහනක් තනා දීමට තරම් ඔහු තුළ වූ හදවතේ කරුණාව සහ මනුස්සකම සැබැවින්ම අගය කළ යුත්තකි. ගල් පිළිමවලින් හෝ ස්මාරකවලින් මතකයන් සනිටුහන් කිරීමට වඩා, අසරණ දරුවන්ට සිනහවක් රැගෙන දෙන ළමා උද්‍යානයක් තනා දීම හරහා ඔහු සමාජයට ලබා දී ඇත්තේ සැබෑ මානුෂීය පාඩමකි. මියගිය බිරිඳගේ සහ පුතුගේ ආත්මයන්ට නිවන් සුව පතමින්, ඔවුන්ගේ මතකය අසරණයන්ගේ සතුට තුළින් අමරණීය කළ සරත් මුදුන්කොටුව මහතාගේ මෙම ක්‍රියාව, අද සමාජයට කියා දෙන්නේ මනුස්සකම යනු ද්‍රව්‍යමය වස්තුවට වඩා කෙතරම් උතුම් දේපළක්ද යන්නයි.















