තඹුත්තේගම, බිලිබෑව ප්රදේශයේ නිවසක් තුළ ඉතා සූක්ෂම ලෙස නිධානයක් හෑරීමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (14) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර නිවසේ හිමිකරු, තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔවුන් මෙම කටයුත්ත සඳහා මුදල් වියදම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, නිවසේ මුළුතැන්ගෙයි අඩි 20ක් පමණ ගැඹුරු දෝනාවක් හාරා, ඉන් ඉවත් කළ පස් නිවසේ කාමරයක් තුළ රහසිගතව සඟවා තිබූ බවයි. සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්, වයර් රෝල්, සවලක් සහ පස් හෑරීමට යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම නිදන් හෑරීම සඳහා උපදෙස් ලබා දුන් ගල්ගමුව, ඇහැටුවැව ප්රදේශයේ පදිංචි ප්රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













