කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පාතාල අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව පවසමින් ගම්පහ ඔස්මන්ඩ් ගුණසේකර මහතාගේ පුත්‍රයා වන ෂෙහාන් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාට සැප්තැම්බර් 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පට-බැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර, පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයකු බවත්, පියා අත්අඩංගුවට ගෙන සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමා අවස්ථා කිහිපයකදීම කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශ ලබා දී ඇති බවත් පෙත්සමේ සඳහන් වේ. තමා සතුව තිබූ ගිනි අවිවලට නීත්‍යානුකූල බලපත්‍ර තිබියදීත් වැරදි ප්‍රචාරයන් ගෙන ගිය බව පවසන පෙත්සම්කරු, විමර්ශනවලදී තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රශ්න කිරීම් සිදු වූ බවත්, එම තත්ත්වය යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටී.















