බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිගල්පොත්ත, රණුගල්ල, මියනකඳුර, රිටිගහබැද්ද සහ ඇත්පට්ටිය ඇතුළු ගම්මාන රැසකට යාල වනෝද්‍යානයෙන් පැමිණෙන වනඅලින් හේතුවෙන් දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. වසර දෙකකට වැඩි කාලයක් පුරා පවතින මෙම ගැටලුව නිසා ගම්වාසීන්ගේ වගා බිම් සහ දේපළවලට විශාල හානි සිදුවෙමින් පවතින අතර, මිනිස් ජීවිතද අවදානමට ලක්ව ඇතැයි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා පවසති.
පවතින තත්ත්වය හමුවේ ගම්වාසීන් පිරිසක් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ. වී. ඩී. සී. විමලසිරි මහතා ප්‍රකාශ කළේ, අදාළ වනඅලින් යළි වනෝද්‍යානයට පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කර ඇති බවයි. ඉදිරි සති දෙකක කාලය තුළ අදාළ ආයතන සමඟ සාකච්ඡා කොට මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සහතික විය.














