හොරොව්පතාන, නාම්බාකඩ ගම්මානයේ කුඹුරු යායක පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී සිටි කුඩා අලි පැටවකු ඇතුළු වන අලි තිදෙනකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් සමත් විය.
පසුගිය දින රාත්‍රියේ මෙම අනතුර සිදු වූ අතර, ගම්වාසීන් වහාම ක්‍රියාත්මක වී කුඩා අලි පැටවාව ළිඳෙන් නිරුපද්‍රිතව ගොඩ ගැනීමට පියවර ගත්හ. පසුදින උදෑසන ස්ථානයට පැමිණි හොරොව්පතාන මොටගෝනෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන්, බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ළිඳේ ඉවුරු කපා ඉතිරි වන අලි දෙදෙනාව ද සාර්ථකව ගොඩ ගත්හ.
කෙසේ වෙතත්, ගොඩ ආ සැණින් වැඩිහිටි අලි දෙදෙනා කැලෑ වැදීම නිසා අලි පැටවා තනි විය. එම අවස්ථාවේදී අලි පැටවාව නැවත මව් ඇතින්න වෙත භාර දීම සඳහා වනජීවී නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. විශාල පිරිසක් එම ස්ථානයට එක්රොක් වීමෙන් අලි කලබලයට පත් වුවද, නිලධාරීන් විසින් එම ස්ථානය ආරක්ෂිතව පාලනය කර අලි පැටවාව සාර්ථකව මව වෙත මුදා හැරීමට කටයුතු කර තිබේ.
















