බඩල්ගම ප්‍රදේශයේ “මහනායක මුදලිගේ” නමින් පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සියක් හරහා විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් පිරිසක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. බඩල්ගම පොලිසිය වෙත අවස්ථා කිහිපයකදී පැමිණිලි කළ ද නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව විරෝධතාකරුවන් චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවා විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කර ඇති බවයි. සැකකරු වන මහනායක මුදලිගේ නමැත්තා මේ වන විට ප්‍රදේශයෙන් සැඟවී සිටින අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















