පවතින සරුංගල් සමයත් සමඟ දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්රිත ප්රදේශවල සරුංගල් යැවීම ඉහළ යාම හේතුවෙන් ගුවන් ගමන් ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී තිබේ. කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ගුවන් තොටුපළ අවට ප්රදේශ මේ වන විට අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මෙම අනතුරුදායක තත්ත්වය තහවුරු කරමින් අද (15) දින රත්මලාන ගුවන් තොටුපළේ සිට පුහුණු ගුවන් ගමනක නිරත වූ Y-12 වර්ගයේ යානයක් සරුංගල් නූල්වල පැටලී දැඩි අවදානමකට ලක්විය. ගුවන් යානය රත්මලානට යළි ගොඩබස්වා සිදුකළ පරීක්ෂණවලදී, එහි වම්පස රෝදය, එන්ජින් ප්රදේශය සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බව අනාවරණය විය.
ගුවන් යානයක එන්ජිමකට හෝ ක්රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් ඇතුළු වීමෙන් යානය දරුණු අනතුරකට ලක්ව ජීවිත හා දේපල හානි සිදුවීමේ දැඩි අවදානමක් පවතී. එමනිසා, ගුවන් ගමන් ආරක්ෂාව සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුවන් තොටුපළ සහ ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














