රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට සහ වැලිපොල ප්‍රදේශවල පවතින දීර්ඝකාලීන ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමටත්, එම ප්‍රදේශවල පවතින මිනිස්-ඇත් ගැටුම් අවම කිරීමට අවශ්‍ය නව පියවර ගැනීමටත් රජය තීරණය කර තිබේ.
පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ සමනල වැව ජල විදුලි බලාගාර ශ්‍රවණාගාරයේදී පසුගිය 14 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබීය.
කල්තොට සහ වැලිපොල ප්‍රදේශවල ඉඩම් අයිතිය, මායිම් ආරවුල් සහ වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුව සතු ඉඩම් වැටවල් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මතු කළ ගැටලු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් ඉත්තෑගලයාය වනජීවී ඉඩම් සහ වැවේකඳුරාර ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට සාකච්ඡා කෙරිණි.
මිනිස්-ඇත් ගැටුම් අවම කිරීමේ කොටසක් ලෙස, ඇතුන් ගම්මානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා වැලිමඩ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා වී තිබේ. අලි-ඇතුන්ගෙන් ගොවිතැන් කටයුතුවලට සහ දේපළවලට සිදුවන හානි අවම කිරීම මීට ප්‍රධාන අරමුණයි.
මීට අමතරව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි සහ ජෛව විවිධත්වය සුරකිමින් ලුණුමැඩිල්ල දියඇලි සංකීර්ණය වෙත සංචාරකයින්ට පිවිසීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.සී. පාලකුඹුර, වනජීවී දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ.එල්. තවුෆීක් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.














