අභාවප්‍රාප්ත වූ කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කටාර් රාජ්‍යයේ ලුසයිල් මාලිගයේදී කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා හමුවිය.
කටාර් රාජ්‍යයේ ‘අමිරි දීවාන්’ (Amiri Diwan) නිවේදනයකට අනුව, අග්‍රාමාත්‍යවරිය තමා සමඟ පැමිණි දූත පිරිස සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ශෝකය එමීර්වරයා වෙත පෞද්ගලිකව ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය එමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාඩ් අල් තානි, අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි, ශුරා කවුන්සිලයේ කථානායක හසන් බින් අබ්දුල්ලා අල් ගානිම් ඇතුළු රාජ්‍ය නායකත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ හිටපු එමීර්වරයාගේ පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් පැවැත්වෙන ශෝක කටයුතු සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳුදා කටාර් බලා පිටත්ව ගියාය.














