පාසල් සිසුන් අතර ‘පුවක් පැකට්’ භාවිතය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවත්, එමගින් දරුවන් සහ තරුණයන් අතර පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් වැඩි වශයෙන් හඳුනා ගැනීමට ලැබෙන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා අනතුරු අඟවයි. දිවයින පුරා සිදුකරන නවතම මුඛ සෞඛ්‍ය සමීක්ෂණවලදී මෙම තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.
2022 වසරේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 3,800කට අධිකය. ඉන් බහුතරයක් එනම් තුන්දහසකට අධික පිරිසක් පිරිමි පුද්ගලයන් වේ. කාන්තාවන් අතර මෙම රෝගය වාර්තා වීම සාපේක්ෂව අඩු වුවද, පසුගිය වසර කිහිපය තුළ අඩු වයස් කාණ්ඩවල පුද්ගලයන් අතර පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් වැඩිවීම බරපතළ අවදානමක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මෙම තත්ත්වයන් මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පිළිකාවක් දක්වා වර්ධනය වීම වළක්වා ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මුඛ පිළිකා සඳහා ප්‍රධානතම හේතුව ලෙස දුම්කොළ සහ පුවක් භාවිතය හඳුනාගෙන ඇත. ග්‍රාමීය ප්‍රදේශ, වතු ආශ්‍රිත ජනතාව, දෛනික ශ්‍රමිකයන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් අතර මෙම අවදානම් පුරුදු බහුලව පැවතීම රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෑතකාලීන ජාතික සමීක්ෂණයකට අනුව වැඩිහිටි ජනගහනයෙන් සියයට 15ක් පමණ තවමත් පුවක් සැපීමේ පුරුද්දට ඇබ්බැහි වී සිටිති.
ජූලි මස 27 වැනිදාට යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයට සමගාමීව, “මුඛ පිළිකාවෙන් තොර හෙටක් වෙනුවෙන් එක්ව පෙළගැසෙමු” යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.















