කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලංකාවාසී ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.
අග්‍රාමාත්‍යවරිය සිය සංචාරය අතරතුර දෝහා නුවර ලුසයිල් මාලිගය වෙත ගොස්, එරට වත්මන් එමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී සිය බලවත් කණගාටුව පළ කළාය. ඉන් අනතුරුව අල් වජ්බා මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය හමුවී ශ්‍රී ලංකා රජයේ ශෝකය පිරිනැමුවාය.
තවද අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයාගේ දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි කුමරිය ඇතුළු රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත ද ඇය සිය ශෝකය පළ කළාය. මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි මහත්මිය ද සහභාගි වූ අතර ඇය වෙත ද අග්‍රාමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පිරිනමන ලදී.
















