2026 වර්ෂයේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව, කතරගම පූජා භූමිය ආශ්‍රිතව “ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් – 2030” (Polythene & Plastic Free Sacred Zone – 2030) නමින් සුවිශේෂී පස් අවුරුදු ජාතික පාරිසරික වැඩසටහනක් ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පියවර ගෙන තිබේ. මෙම දිගුකාලීන සැලැස්මට අනුව, එළඹෙන 2030 වර්ෂය වන විට සමස්ත කතරගම පූජා නගරය, පූජා භූමි සංකීර්ණය සහ බැතිමතුන්ගේ සුවිශේෂී ආකර්ෂණයට ලක්වන මැණික් ගඟ ආශ්‍රිත කලාපය ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන්ම තොර කලාපයක් බවට පත් කිරීම අරමුණු කෙරේ.
වර්ෂය පුරාම දේශීය හා විදේශීය බැතිමතුන් විශාල වශයෙන් වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන කතරගම පුදබිම වෙත, වාර්ෂික පෙරහැර සමයේදී පමණක් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රොක් වෙති. මේ හේතුවෙන් සිදුවන දැවැන්ත පාරිසරික හානිය වළක්වා ගනිමින්, කතරගම පුදබිම වසරේ දින 365 පුරාම පොලිතීන්වලින් තොර ආදර්ශමත් කලාපයක් ලෙස පවත්වාගෙන යාමට මෙම වැඩසටහන යටතේ දැඩි නීතිමය හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇත. ඒ අනුව, මෙරටට පැමිණෙන බැතිමතුන්, ප්‍රදේශයේ ස්ථාවර පදිංචිකරුවන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ වෙළෙඳසැල් හිමියන් පාරිසරිකව දැනුවත් කිරීම, රජය මඟින් තහනම් කර ඇති පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග වැටලීමේ මෙහෙයුම් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහ පූජා ද්‍රව්‍ය සඳහා භාවිත කරන ප්ලාස්ටික් අන්තර්ගත භාණ්ඩ අවම කර ඒ වෙනුවට දේශීය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවූ පරිසර හිතකාමී විකල්ප භාණ්ඩ හඳුන්වාදීම සිදු කෙරේ. මෙම දැවැන්ත කසළ කළමනාකරණ අභියෝගය ජය ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ආයතන (Public-Private Partnerships) රැසක ඒකාබද්ධ සහයෝගය ලබා ගැනීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.














