පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 12 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද (16) නියෝග කළේය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන මිගාර ගුණරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත්තේ 1994 අංක 22 දරන අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත (වධහිංසා පනත) යටතේය.
2021 වසරේ පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩ පොලිසියේ රැඳවුම් නියෝග මත සිටි අයෙකුට දිවා ආහාරය ලබාදීමට නීති ශිෂ්‍යයා උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු කර තිබිණි. මෙම සිද්ධියට අදාළව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින්, අදාළ පොලිස් නිලධාරීන් තම පෞද්ගලික මුදලින් සහ රජය මගින් පෙත්සම්කාර නීති ශිෂ්‍යයාට වන්දි මුදලක් ගෙවිය යුතු බවට ද තීන්දු කර තිබුණි. මෙම මහාධිකරණ නඩුව සඳහා අධිචෝදනා ඉකුත් ජූනි 17 වැනිදා නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබීය.














