මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නඩුව අද (16) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් DVR දෘඩ තැටි 02ක් විශ්ලේෂණය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කළ බවයි.නඩුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ නිලධාරීන්, සිද්ධිය වූ මීගමුව බන්ධනාගාර භූමිය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිතියම්ගත කළ බව ද සඳහන් කළහ. මියගිය රැඳවියෙකුගේ ලේ සාම්පල සහ ඇඳුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියහ.
මීට අමතරව නොසන්සුන්තාව අතරතුර මියගිය රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී මියගිය රැඳවියන්ගේ ඥාතීන් සාක්ෂි ලබා දෙනු ලැබීය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රැඳවියෙකුගේ සහ නිලධාරීන් දෙදෙනෙකුගේ මරණවලට අදාළ කෙටි මරණ පරීක්ෂණ වාර්තා ද අධිකරණයට භාර දෙන ලදී. වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සහ සෙසු සාක්ෂි විභාග කිරීම සඳහා නඩුව ජූලි 23 වැනිදා දක්වා කල් තැබිණි.














