දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් ඒකාබද්ධ වීම සුබවාදී ලක්ෂණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනිහි නායක සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, සිංහල භාෂිත පක්ෂවලින් තමන් නියෝජනය කරන ජනතාවට කිසිදු සහනයක් නොලැබෙනු ඇතැයි යන විශ්වාසය මත එම පක්ෂ නායකයින් මෙම තීරණය ගෙන ඇති බවයි. දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අනාගතය අරමුණු කරගනිමින් මෙම ඒකාබද්ධ වීම සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව උතුරු සහ නැගෙනහිර ජනතාව තෘප්තිමත් නොවන බව පෙන්වා දුන් විග්නේෂ්වරන් මහතා, හමුදාව විසින් තවමත් පෞද්ගලික ඉඩම් අත්පත් කරගෙන සිටීම සහ එම ඉඩම්වල වගා කරමින් ආදායම ලබා ගැනීම ඊට ප්‍රධාන හේතුවක් බව පැවසීය. එවැනි පසුබිමක් තුළ ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ දෙමළ ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත්, වත්මන් ආණ්ඩුව ද දෙමළ ජනතාව දෙවැනි පුරවැසියන් ලෙස සලකමින් සමාන අයිතිවාසිකම් ලබා දීමට කටයුතු නොකරන බවත් ඒ මහතා චෝදනා කළේය.














